Total Pageviews

Wednesday, January 18, 2017

සාක්ෂ්‍ය


පාසලේ - පංතියේ  මිතුරෙකුගෙන් දුරකථන ඇමැතුමක්;

"මචං කාලෙකින්, ! කොහොමද උඹට - උදව්වක් ඉල්ලා ගන්න කථා කළේ, ඒකාලෙ උඹ ඩිබේටිං ටීම් එකේ  මතකද දුන්නු ගේම් , උඹ තමයි පට්ට කථිකය, නිවේදකය, ඒ විතරකයැ මහ ලේඛකයනේ අපේ, ... ,
උඹ තරගෙකට එත්දි ගම්වල 'චූ' ඉස්කෝලවල විතරක් නෙමෙයි කලම්බු උනුත් නැගිටල යනව මට මතකයි, මතකද අපේ උං කෙල්ලන්ටත් ලියුං ලියෝ ගත්ත උඹට කියල, ඇයි බං ඒකාලේ මගෙ නමින් පත්තරවල පලවුනේම උඹ ලියපුවනෙ, අනේ මචං ටිකක් හදිසියි, දන්නවනෙ ලයිෆ් සෝ බිසී, උඹ ඒකාලෙ ගත්ත සෙටිෆිකේට් ස්වනියර්ස්  තියෙනවද, අනේ ප්ලීස් ඒව පොඩ්ඩකට දීපං,  ඉස්කෝල‍ෙම මගේ යාලුවෙක්ට, උගෙ ළමයව ඉස්කෝලෙට දාන්න, ඌට ඩොකියුමන්ට්ස් ටිකක්  හදා ගන්න සාම්පල්ස් හොයනව! පහුවෙනිදම රිටර්න් කරනව ෂුවර්.."

ඔහු කුමක් නම් පිලිතුරු කියන්නද ; උපන්දා සිට ගෙන් ගෙට මාරු වූ මහ කුලී කරුවකු වූ ඔහුට ජීවිතය පමණක් ඉතිරි වී තිබෙන වග , අනේක විධ කුණාටු අස්සේ ජීවිතයවත් බේරා ගැනීමට පමණක්  සමත් වී ඇති බව , සොරකම් කළ සහතිකවලින් දරුවන් පාසලකට ඇතුලත් කිරීම නොහොබිනා බව, ඊට උදව්වන්නාද වංචාකාරකැයි දැනෙන බව, කියන්නට සිත් වුවද කරබා ගත්තේය,

" මචං උඹට ඉල්ලන ගාණක් දෙයි, මං දන්නව උඹත් අමාරුවෙන්නෙ ජීවත් වෙන්නෙ, පොඩ්ඩක් බලපං ප්ලීස් - සෙට් වෙමු වෙලාවක"

සහතික හෝ සමරු කළඹ තමන් සන්තකයේ නැති වග පමණක් පවසා ඔහු මිතුරු සිත පලුදු කළේය.

ඇමතුමෙන් වසර කිහිපයකට පසුව ඔහුට ද ඒ සොරකමේ වංචාවෙි අඩි පාර දිගේ යනු පිණිස කාලය එළැඹ ඇත. සිඟාලෝවාදයට ද අනුව දරුවනට නිසි කළ නිසි අධ්‍යාපනය දිය යුතුය, එහෙත් උපන්තේකට කිසි විටක සොර වංචාවකට සිතක් නොමැත්තේ එවැන්නක් සඳහා මේ අඩිපාරේ යන්‍ෙනේ කෙලෙසකද?  ඔහු ඔහුටම දිව්රා ගත්තේය ; තම දරුවා වෙනුවෙන් වුව දිගු දුෂ්කර මඟ තමන් සමාදන් පිළිවෙත් නොබිඳින බවට.

ඔහු සන්තක සහතික සමරු කළඹ රැසක් නැත, ඇති කිහිපය වුව ආදරයෙන් ගෙනැත් අතගා බලා - තම නම කිහිපපලක වෙත්දැයි අබිමාන සිතැතිව නමුත් සුරක්ෂිත කරගැනීමට තරම් පහසුකමක් නැතිව, පරණ කාඩ්බෝඩ් පෙට්ටියකට  විසි කොට තිබිණ. මී බෙටි ද කැරපොතු හැව ද පත්තෑ කූඹි ගුලා පිරි  ලිපි ගොනු අතරින් ඇතැම් අවැසි කඩදහි හමුවුනද පාසලේ දීප්තිමත් සිසුවකු බවට  ඔප්පු කිරීමේ ශක්‍යතා අවම බව ඔහුටම දැනෙයි,

එහෙත් ඔහුට මතකය, ඔහු එම යුගයේ දීප්තිමත් සිසුවකු බව ඔහු මැනවින් දනී. එයින් අනෙකාට පළක් නැති වග  ඒ දැනුමේ කොටසක්ය. ගමක පාසලක උගනිද්දී දැක්වූ දක්ෂතා මත කොළඹ පාසලට තමන් උදුරා ගත් මොහොතේ දැනුන වික්ෂිප්තභාවයෙන් ඔහු යළිත් පෙලෙන්නාක් වැනිය.

බොහෝ වෙහෙසව වැර වෑයමින් පරණ සහතික සමරු කළඹ කිහිපයක් ඔහු සොයා ගත්තේය. ඒ සඳහා ලකුණු ලැබෙනු ඇති, එහෙත් ආදි සිසු සංගමයේ සාමාජිකයකුව සිය පාසලේ උන්නතිය වෙනුවෙන් කළ කටයතු සඳහ‍ා 'සාක්ෂි' සොයා ගත යුතුය.

ආදි සිසු කණ්ඩායම්,  පාසල්‍ෙ අනෙකුත් කණ්ඩායම් මතු නොව සහෝදර පාසල්වල උන්නතිය උදෙසාද ඔහු දක්වා ඇති සහය ඔස්සේ, නිරත වූ ක්‍රියාකාරකම් ඔස්සේ ඔහු ඉපැයූවේ මානවීයත්වය උණුසුම් කරන මිත්‍රත්වය පමණි. 'ස්තුති' ලියුං කෑල්ලකට එය එකල්හී ලඝු නොකළ පව ඔහු කරා දැන් ඇවිත් ඇත.

'සර් ! තෑන්කිං ලෙටර්ස් නං නැහැ, ඒත් සර්ට මතක ඇතිනෙ ඉස්කෝලෙ හැම වැඩසටහනකටම වගේ මම මහන්සි වුන හැටි, මේහ් මේ පිංතූර මතකයිනෙ, මේ සර්ත් ඉන්නෙ මා එක්කම ,   "
ඔහු මෙතෙක් එකතු කරගත් පිංතූර කිහිපයක් පාන්නේය.

" සර් මට ලියුමක් දෙන්න පුලුවංද , කළ වැඩ කිහිපයක්වත් සහතික කරල, තව ලකුණක් ලැබුණොත් ඇති... සර්ගෙ ලියුමකට ඒ ලකුණ ගතෑකි කියල ඉන්ටර්වීව් එකේදි කිව්ව - වැඩක් කළාම ලියුමක් ඉල්ල ගන්න ඕන කියල හිතුන්නෑ ඒ කාලේ සර්"

නි.විදුහල්පතිවරයා නිහඬය. ඔහු දෙස ගැඹුරු බැල්මක් හෙලීය.

" පුතා මට මතකයි , ඔව් මා ඉන්නව, ඒත් මොනාහරි අවුලක් වුනොත් මං ගස් ! බලන්න සෙක්ෂනල් හෙඩ් කෙනෙක්ගෙන් ගන්න  , ඒකාලෙ ගන්න තිබ්බනෙ ලියුං"

නි.විදුහල්පතිවරයාගන් සමුගත් ඔහු පාසල අවට සිසාරා හිස් බැල්මකින් බලාගත්වන බලා සිටියේය. සහතික කිරීම්‍ෙ වගකීම අනෙකාට පැවැරීම විනා ඔහු ලද  ලිපියක් නැත.

ඔහු කුමක් කරන්නද, ජීවමාන සාක්ෂි පවා අසරණ සමයක...? අනෙක් පසින්  ජීවමානව සිටියදී පවා සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට තරම් කෂේරුකාවක් නැති  මිනිසුන් සහිත පාසලකට තම දරුවා ඇතුලත් කළ යුතුද?

එක වසර සඳහා ආදි සිසුන්ගේ  දරුවන් ඇතුලත් කරගැනීම වෙනුවෙන් පැවැති පළමු වැඩමුලුව දා පැමිණි සියයකට ආසන්න වූ ආදි සිසුන් බහුතරයක විස්මිත යාන වාහන සියැසින් දැක ඔහු චිත්ත ප්‍රීතියට ද කණස්සල්ලට ද පත්විය, ඔවුන් සාර්ථකත්වය ලබා තිබීම සතුටට කරුණුය, කණස්සල්ල; ඉහළ වියදමකින් බොහෝ දෑ පූර්ණ කර ගැනීමේ බලය නිරායාසයෙන් ඔවුන්ගෙන් සමහරෙකු අත්පත් කරගෙන තිබීමය. එනම් කූට ලේඛන රැසකින් හෙට දවසේ පාසල් ලිපි ගොනු අල්මාරි අතුරු සිදුරු නැති වන බවය. නිවැරදි සත්‍ය ලේඛන සැපැයූ මිතුරන්ට ඔහු හදවතින් ආශිර්වාද කළේය.

"අනේ උඹ හිටපං" ඒ එදින වැඩමුලුවෙන් පසු මිතුරු කථාබහේදී 'මෙලෙස ළමුන් නොයෙක් කෝටා ක්‍රම ඔස්සේ පාසල් සඳහා  තෝරාගැනීම' විවේචනය කළ තමන්ට මිතුරකු දුන් අතුල් පහරකි.

තමන් විසින් අක්‍රමවත්ව අඩු පාඩු සහිතව සකසන ලද ලිපි ගොනුව, දරුවා ඇතුලත් කිරීමේ අදහසින් ඔහු අකුරු කළ කොළඹ පාසලට පළමුවෙන් බාර දුන් දා ඔහු හිස බරව තිබුණි, බර හිස අස්සෙන් හඬක් ඔහුට ඇසිණ, ලිපිගොනුව බාර ගන්නා මහත්මාගේ හඬය ඒ;
 
"ඩෝනේෂන් එකක් අද දෙනව ද" 

තම ඇස් යට කඳුලු උල්පත් සිඳී ඇති බැවින් වියළි හිනාවක් පෑමට ඔහු සමත් වුනෙය.

"උඹ දුප්පත්ව ඉපැදීම උඹේ වරදක් නොව, එහෙත් එසේ මිය යෑම වූ කලී ....! "  යන ධනේෂ්වර වෙළඳපලමය, ධනාත්මක ආප්තය ඔහුට ජීවිතයේ කිහිප වරක් සිහිපත් වී ඇත. එහෙත් තම පියා සේම තමන් ද  හදවතින් මහා පොහොසතෙක් ය යන අධිමානය විසින් ඒ සිතිවිලි උපදින සැණින් මරා දැමෙයි. හදවතින් පොහොසත්වුවෝ දිළින්දෝය!

පාසලේ යකඩ කටින් උදෑසන පුවත් ප්‍රකාශය ඔස්සේ නිවේදක කවය විසින් පට්ට ගැසූ රුවන් වැකියක් ඔහුට හදිසියේ  සිහිපත් වෙයි,

"ඔබේ අධි මානය ද , හීන මානය ද අභිමානය පලවා හැර  ඔබ ට අවමානය ලඟා කර දේ...!"

තම දරුවාට කොළඹ පාසල් දොර වැසුණු දාට පුතුට කියන්න ඔහුට කථාවක් ඇත.

"පුත මම එක්තරා කුඩා ගමක , කුඩා පාසලකට ග‍ොස් ඇත්ත‍ෙමි, පුතුගේ සීයාට ඉහළ ආදායමක් නොතිබීම ඊට එක් හේතුවක්. විවාද කණ්ඩායමක් ඉතිහාසයේ කොණකවත් නොතිබූ  පාසලක් ඒ, අනෙක් පාසල් වගේ අපටත් විවාද කණ්ඩායමක් අවශ්‍ය බව කියමින් අටේ පංතියෙදී මම විදුහල්පති තුමාට  කරදරයක් වීමි. ස්වපරිශ්‍රමයෙන් විවාද කණ්ඩායමක් තනා - පුහුණු කර, විද්‍යාලාධිපති සහ අනෙකුත් ගුරුවරුන්ගේ අසිරි වැරෙන් ගෙනැ සහභාගී වූ පළමු තරගාවලියේදීම සමස්ථ ලංකාවෙන්ම පාසලට තෙවන ස්ථානය දිනාදීමට උඹේ පියා සමත් වූයේය, එහිදී අප කණඩායම අබිමුව පරාජිත වූ කොළඹ දීප්තිමත් පාසලකි, එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් පසුකළෙක කියන ලද: 'මෙහෙව් දරුවෙකු වූ ඔබ අපේ පාසලට ගෞරවයෙන් පිළිගනිමි'යි යන බස සවණ කර ඇත්තෙමි. ඉදින් එදින මම ලෝකය දිනා ගත්තෙමි..!"

තම ළයට තුරුලු කර පුතු කණට කිව හැකි , ඔහුගේ අවසන් වාක්‍යය මෙයය

"පුත උඹ ද - උඹ ම වෙයන්!"

නූතන ආඬින්ගේ කැඳ හැලිය කෙසේද යත්


බොහෝ අර්බුධ  ගැටලු ප්‍රශ්න  හමුවේ ලොව විශාල වශයෙන් දුකට පත්වන්නේ දරුවන්, මක්නිසාද හේතුවක් තේරුම් ගන්න බැරි වයසේදීම ඔවුනට අත්විඳින්නට සිදුවන ඇතැම් අත්දැකීම්  අතිශය අමානුෂීය වන බැවින්,

ආහාර නොමැතිව, බොන්න වතුර පොදක් අහිමිව, නිසි අධ්‍යාපනයක් නොමැතිව, 'මූලික අවශ්‍යතා' වචනයවත් නොඇසූ , දෙමාපියන්ගේ ගැටුම්වලට මැදිව, රැකවරණය අහිමිව, එක්කෝ ලෙඩ රෝග ව්‍යසන වසංගත මෙන්ම යුද කළකෝලහල ඔස්සේ   නැත්නම්  දූෂණයට අපහරණයට හෝ වෙනත් පීඩනයකට ලක්ව ( එක්කෝ ජීවිතයෙන්ද වන්දිගෙවා ) ඔවුන් බලා සිටින්නේ වැඩිහිටි ලෝකය දෙස,                       

තමන්ට වඩා , යමක් තේරුම් කරගත හැකි ලෝකය දෙස,
අප දෙස . . . !  
                       
එහෙත් අපි   ඔවුන් වෙනුවෙන් හුදෙකලාවේ කුමක් කරන්න‍ෙමුද,                                                                   අපි 'අපේ ළමයි' රැක ගැනීමේ පෝෂණය කිරීමේ ක්‍රියාන්විතය පමණක් සිදුකරමින් සිටිමු,?!          

බොහෝ පොෂ් කැරැක්ටර්ස් කියන්නේ "අනේ පවු අනේ ඒ ළමය".                                   මැදහත් බව පෙන්වන අය කියන්නේ "පවු කියල හරියන්නෙ නෑ මොනාහරි කරන්න ඕනා, ඒත් අපිය කියලා මොනා කරන්නද,".    

හෝටල්වල රාත්‍රී සමාජ ශාලාවක ෆන් ගන්න , නැත්නම් සුපිරි මට්ටමේ බොජුන් හළක දහස් ගණන් වියදම් කර සෝස් එක්ක චිප්ස් හපන සලාද කොළ සමඟ බනිස් කන, කොහේ හෝ වෙඩිමක පාර්ටියක ගෙට්ටුවක ගයන වයන කන බොන , දේශපාලකයෙකුට කහින කඩේ යන , ඉස්මුරුතාව දිරවා ගැනීමට පාරක් පාරක් ගානේ ඇවිදින කඳ බඩ මහත ජීවිත බහුතරයක් විසින් ඒ වෙනුවෙන් කිසිවක් නොකරේ,

සෙල්ෆියක් පිණිස කිසියම් ස්ථානයකට වැද  "ආධාරයක් පරිත්‍යාගයක් කරා"යි fb ස්ටේටස් අප්ඩේට් කරති, තමනුත් මේ විනාශකාරී ක්‍රමයට අනියමින්/ නියමින් දැන / නොදැන සම්බන්ධ බව නොදන්නා ඔහු/ඇය තම දරුවන්ට නස්පැත්තියක් වූ විට පමණක් සමාජයේ මිනිසුන්ගේ සහය පතති, වෙනස කරන්නට හිතති, විප්ලව කරති, ආඩපාලි කියති, තමන් පැතූ කිසිවක් නොකෙරුණ විට මුළු සමාජයටම දොස් නගති,

එහෙත් තම යුතුකම වෙනුවෙන් නායකත්වය නොගනිති, එක් නොවෙති, මඟ හැර යති! 'වෙලාවක් නෑ' වදන තරම් ඔවුන් ඉන් ගලවා තබන අන් උපකරණයක් නැති.

එවන් කටයුත්තකදී  "වැඩේ හොඳයි කරගෙන යන්න, බලමුසෙට් වෙන්න"  වගේ ළෙංගතු වදන්ද මුමුණති,
ඇතැම් විට පුද්ගලික අනියම් ලාබ ප්‍රයෝජනයක් ඇත්නම් පේන්ට ලකුණු රැස්කරනු පිණිස ඔලුව දමා යන්ට එති ,
ඇවිත් විරිත්තති, පොර ටෝක් දෙන්නත් අමතක නොකරති.

ඩබල් වත

'ජෝඩු' නම් දෙකකි, එහෙත් විටක දෙදෙනෙකි, දෙවගකි, පාර්ශව හෝ ජාති කිහිපයකින් දෙකක් උක්තකර ගැන්මකි,

'අලුත බැඳපු ජෝඩුව' මේ අතරින් වඩාත් ප්‍රචලිත ජෝඩුවයි, විවාපත් වූ දා පටන් දින මාස කිහිපයක් යනතුරු එලෙස නව යුවලක් හැඳින්ව‍ේ. සමහරු වයසට ගියත් අලුත බැඳපු ජෝඩුවක් වගේ යි කියති, එනම් සතුටින් කෙළිලොල්ව ජීවත්වන බවට පලකරන යෙදුමක්ය ඒ. , ජාඩියට මූඩිය වගේ හිටියට ඔය ජෝඩුව කොච්චරවත් වලි යනුවෙන් හැඟවෙන්නේ ටිකක් පරණ වනවිට ජෝඩුවේ කල්කිරීයා අවධානයෙන් ඉන්න ගමේ ගෑනුය,

'ජෝඩු දාලා' යන්න අන් හැඟවුමක් කරයි; නීතිය‍ෙ  එක් නොවුන, එක අස දැවැටෙමින් යන දෙදෙනෙක් අරඹයා එසේ අවඥා සහගතව කීවද 'ඔතන කට්ටිය ජෝඩුව බැගින් එන්නැ'යි කරන විධානයකදී අවඥාවක් රහිත දෙදෙනා බැගින් යන්න ඉස්මතු කෙරේ, යතුරු පැදියක නැගැ යන ගැහැණු පිරිමි යුවලක් ජෝඩු දා යනව කියන්‍ෙනේ නොක්කාඩුවට ද සරදමටද? ' ජෝඩු කරනවා ' යන්න වාච්‍යාර්ථයද ඉක්මවා යන්නකි, දෙපලක දෙදෛනක් එක් කිරීමට තතනන වෑයම එයින් හැඟවේ, ජෝඩු වෙලා යනු වෑයමකින් තොරව එකවීමක්ද 'ජෝඩු කරන්නැ'යි කපුවකුට කීමේදී ආයාචනාත්මකව  ජෝඩු කිරීමකට යෝජනා කිරීමක් ද හඟවයි.

මිනිසාට මෙන්ම සතුන් විෂයේද ජෝඩුව පදය යොදාගනු ලබයි, කුරුලු ජෝඩුව එවැන්නකි, එහෙත් 'උන්' යට කී යුවලකට උපමාවක් කිරීම වැඩි සිරිතකි, 'උන් දෙන්න හරියට කුරුලු ජෝඩුවක් වගේ'යි.

ජෝඩුවට ලිංග බේදයක් නැත, පිරිමි ගැහැණු , ගැහැණු ගැහැණු , පිරිමි පිරිමි දෙදෙනකු හැඳින්වීමටද යොද ගනු දැකිය හැක, ඒ අනුව එහි නිෂ්චිත බැදීම් අරුතක් නැත, එහෙත් කුමන හෝ බැඳීමක් පෙන්වයි, පිරිමි ගැහැණු කිහිප දෙනෙක් අතරින් සුවිශේෂි දෙදෙනකු , මිතුරු හෝ වෙනයම් හේතුවකින් ජෝඩු හඳුනා ගැනේ, පාසලේදී මැරෑටිකම් කරන කොල්ලන් දෙදෙනකු අමතන ගුරුවරයා කියන්නේ "ඔය ‍ජෝඩුව මෙහෙ එනව" "මාර/කදිම ජෝඩුවක් නෙව මේ" වැන්නකි.

ජෝඩුව යන්න අප්‍රාණ වාචීවද යෙදේ , සපත්තු /සෙරෙප්පු ජෝඩුව ඒ අතරින් ප්‍රසිද්ධය, මක්නිසාද කිසිදා වෙන් නොකළැකි අවියෝජනීය බැඳීමක් සපත්තු සෙරෙප්පු දෙකකට ඇත, එකක් නැති වුවහොත් අනෙකේ පැවැත්මක් නැති බැවිනි, එබැවින් එහි ජෝඩුව යන්න අනිවාර්ය යෙදුමක් වන්නේය,

පාලුවේ ඉන්න ජෝඩුවක්, ජෝඩු කිහිපයක් කාඩ් ක්‍රිඩාවට  පෙළඹුනහොත් බලන්නේ ද ජෝඩුයි, එවිට එය ක්‍රිඩාවක නමකි, එහිදී අහඹු ලෙස සමාන ලකුණින් යුත් පත් දෙක බැගින්, තමන් ලබන වැඩිම ජෝඩුපත් සංඛ්‍යාව තම ජය තහවුරු කරනු ඇති.

සමහරු ජෝඩුවකට වැඩි සැලැකිලි දක්වා 'හා දෙජෝඩුව  කොහෙ ගියේ'ද ' කරාබු දෙජෝඩුවක් ' වැනි මුග්ධ බස් නඟයි, දෙජෝඩු නම් ජෝඩු දෙකකි එවිට ගණන හතරකි.

දෙකක් - දෙවගක් දැක්වීමේ ලා හැම විටම ජෝඩු පදය නොයෙදේ වහරනුසෙරෙන් සපයා ගත යුත්තකි, පොල් ගෙඩි ජෝඩුවක් දෙන්න , මල් ජෝඩුවක් නෙලන්න , කාර් ජෝඩුවක්, ලී ජෝඩු,  ආදී අවස්ථා නොඇසෙන සුලුයි, යෙදුවද වරද කිමැයි කෙනෙකුට අසනු හැකි, ඒවා අතරින් 'අගමැති ජනපති ජෝඩුව ' යි කීවද එය ගැලැපෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදෙනා හැඳින්වීමට කාලයක් යෙදූන යෙදුමක් ලෙස පමණි.

ලෝකයේ උත්තම ජෝඩුව - මව සහ දරුවාය, කුඩා වදනක පිහිටින් අප එය විසඳා ගමු,
"දො" යනු දෙකකි, "ළ" යනු හදවත් ය, "දුක" නම් තෘෂ්ණාව හෝ කැමැත්ත ආසාව දැක්වීමකි, හදවත් ජෝඩුවක ආසාව දොළදුක නමි. ගර්භනීයව සිටියදී මවත් දරුවාත් එක විටෙක එකම කෑමකට හො වෙයම් දෑකට ආසා කිරීම මින් පැහැදිලි කෙරේ.

හදිසියේ කෙටෙන මේ සටහන නිමාවට ඒ පේළියම ඇති,
එහෙත් කිව යුතුයි

 'දැං ජෝඩු නැත, ඇත්තේ ඩබල්ය',
"හරිම ඩබලක්ය, දෙන්නා ඩබල් දාති, ඩබල කොයිද යති, උණු ඇල් ඩබල් එකක්, පිස්සුද ඩබල් වෙති. වඩාත් බිය ඩබල්  Game කාරයින්ටය."

මේවා ඩබල් එකේ ලියාගතිමි!

පො ලේ

මහ පොලවෙ පුංචි ඉඩක ලූ ඉටි රෙද්දක් මත සුවඳැල් කෙසෙල් ඇවරි කිහිපයක්, කොළ මිටි දෙක තුනක්, හබරල හිඟුරල ඉන්නල වෙරලු ලොවි  අච්චාරු සීරුවට අඩුක් කොට ඇත,

"අම්මේ මේ කෙසෙල් කීයද?"

" අනේ මහත්තයෝ බර හරිද බලන්න"
"මහත්තයම ගාන හදල කියන්න,"
"  මදි නම් මේ කෙසෙල් ගෙඩි දෙකත් දාගන්න සල්ලි එපා මේකට . . . "

අව්‍යාජ වියළි හිනාවක් යාන්තමින් හෙළන ඈ ඔත්පල සුදු කොණ්ඩය, කලු ගැහුණු අතඟිල්ලෙන් සෙමෙන් සකසයි...
ඈ කෑගසන්නේ නැත..
අපේ හිත් ඇතුලෙන් කෑ ගැස්සේ . . .

එක අම්ම කෙනෙක් ඉන්නවා පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින, " පුතේ " කියන ගමන් ඈ ඒ වැලක් මවෙත දිගුකරන,

"අනේ අම්මේ ගිය ඉරිද ගත්තු තිර ඉවර නැහැ තාම,"

මම එහෙම කියද්දිත් මඳ හිනාවෙන් අසා සිටින, ඒ බැල්මට නතුව තව පහන්තිර වැලක් මිලට ගත්තත් ඒ හිනාව එහෙම්මම පාන, "මෙච්චර පහන්තිර කන්නද" අසන බිරින්දෑ කෙනෙක් ගෙදර ඇතිබව නොදන්න . . . එක අම්ම කෙනෙක් ඉන්නව පහන්තිර පැකට්ටු වැල් අතින් ගෙන ඇවිදින ...!

ඉරිදා පොලේ මෙවැනි මවුවරු - පියවරු රැසකි  !

ඔවුහු අපේ ගමේ කොහේ හෝ කොනක ජීවත් වන දරුවෙකුට රස මසවුලු තම්බා දෙන්නෝය,
"ආදරෙන් හිස් පහත්කොට ඔවුන්ගෙන් වැඩි යමක් වැඩි මිළක් දී ගන්න ...
එය සුපුරි වෙළඳපොළකින් ඔබට මිළට ගනු බැරි ඉස්තරම්ම වර්ගයේ 'සතුටක්' වනු ඇත...!"

පඨවි ධාතුව!

සිව් වස ඉකුත් වියැති මපුතු සිය සුරතින් ගත් කතුරින්,
හිස තන්හි තන්හී මුඬු කරගෙන,
මට මඳසිනා පහළ විය ඒ සිඟිති පෙනුමට,
ගෙනැ ගියෙමි බාබර්-කරණවෑමි සොහොයුරාණ වෙතට !

බෝසත් සිදුහත් තව්සාණ තමන් විසින් තම හිස මුඬු කරන ලද්දේ අඩු වියක සිටියද -  මෙසසර ඇවිද පිරිසිඳ ලත් මහ දැනුමින් පොහොසත් වීමංසන සතියකිනි, එහෙත් මේ දරුවා එක්කෝ අනුකරණයක් කළේය, නැත්නම් නව සොයාගැනීමක් කළේය,

සැලොන් දොරින් එළයට බට අප දෙදෙන,  නිවසට පැමිණි වහා - දොම්නස් මපුතු මා කෙරෙහි උරණව , අමනාප මුවින් වැරෙන් මවෙත දොස් නඟමින් හඬන්නට වූයේ , සිය මුඬු කළ හිස පිළිබඳ සොවින්මැ නොවෙයි , අත්තම්මගෙන් 'තට්ටයා' යි ලත් සරදම ඉවසනු බැරිව; මෙතෙක් එකතු කරගත් කණස්සලු දුක් කෝප චෛතසික එක්ව මා මුව මඳහසද ගැටී පිපිරීයාම හේතු කොටගෙනය.

මුඬු හිසක් - තට්ටයක් ඇත්තේ කඩවසම් කෙනෙකුන්ය වග පහදා දීමෙන් ආයාසයෙන් ඔහු දුක තුනී කර ගත හැකි වූ නමුත් ඇතැමෙක් 'හා! පොඩිනම...!!'යි කී සැණ යළිත් ඔහු හිත පෑරෙයි; 
"මගෙ 'නම' පොඩි නැහැ😃 , දිගු' යි - ලොකු' යි" කියමින් හඬ තලන්නේය, සිය 'දිගු නම' එක හුස්මට කියන්නේය, අස්වැසීමට බොහෝ වදන'රුත් කීමට මට සිදු විණ,

අස්වැසිල්ලක් ලත් හිතින් පුතු නිදත්දී මට සිහි කැඳවුනේ සත්වියැති නීග්‍රෝධ හිමියන්;

පුරාතණ බාරතය චණ්ඩාශෝක ගින්නෙන් දැවී හලුවී ගිය කලෙක සී මැදුරින් පෙනෙන - මඟ වඩින , ඇවැතුමෙන් පැවැතුමෙන් ශාන්ත මුඬු හිසැති නීග්‍රොධ හිමි  ගෙන්වා බණ අසා, රජු - ධර්මාශෝකව දහම් වැසි වස්වා ලොවම නිවා සැනැස්සූ  සවිස්තරය මා මනස්හී එකවර  විචිත්‍රණය විය, පොඩි නමක් කළ මහ වැඩකි ඒ.

මව් කියාදුන් නරසිහ ගීයෙන් මත්ව - දිවගොස් , බුදුන් වහන්සේ අතින් ඇද , දායාදය ඉල්ලූ සඳ රාහුල කුමරුන් 'එව බලව - දායාද ගනුව'යි හිස මුඬු කොට සසුන් ගත කෙරිණි;  විප්පයෝගයෙන් දොම්නස්ව, 'දරුවන් මහණවරයට පත් කරද්දි මාපිය අවසර ගන්නැ'යි රාහුල කුමරුගේ සීයා කළ ඉල්ලීම තථාගතයෝ පිළිගත්හ; ඒ,  'සම් සිඳ , මස සිඳ , නහර සිඳ ඇට මිදුලු තුල පුතු සෙනේ දුක් දෙවන' බවට , ලොව මහරුතම පියපුතු ස්නේහ හේතුපාඨය කියා අවසන් වූ කල්හිය.

සර්පයා , රජ කුමරු, ගින්න බාලයැයි නොසිතන්නැයි කී සේම කුඩා හිමිවරු බාලයැයි නොසිතුව මනාය. එහෙත් අදවන විට දරුවන්ගේ හිස මුඬු කරලන ඇතැම් ගුරුදේවයන් වහන්සේලා තුල ඇත්තේ පටු අරමුණුය, සැබැවින්ම දරුවාගේ උන්නතිය හා සදහම් චිරස්ථිතිය උදෙසා එවන් පිළිවෙත් අනුගමනය කරන්නේ නම් පැසැසුම හිමිවෙයි, 'කේන්දරේ පාලු යැ'යි - 'සිව් වරිගයම එතෙරෙ වේ යැ'යි පුතු සසුනට බාර කරන්නෝද වෙති,

මට සිහිපත් වන්නේ මහිතවත් නිමල්  (මාකොළ යතුරුපැදි ඉසිවරයා)  සමඟ ඉකුත් දාක කළ කථා බහකි:

එ් මෙසේය;

'....විදුර හෙට අපි නැහැනෙ' 'ඇයි?', 
'අපි බැට් බෝල සෙල්ලම් කාර් ප්‍ලේන් දානයක් දෙනව ආනමඩුවෙ,'
මගේ විමතියට පිළිතුරු දුන් ඔහු ඊලඟට මා හමුවන්නේ දානය පූජා කර යළි ගම පැමිණ, දින කිහිපයකිනි,

'කොහොමද දානෙ වැඩ ටික?' මගේ පළමු ප්‍රශ්නය.

'හරිම සතුටුයි, පැටුව් 75ක් විතර, තව මහණ වෙන්නත් හිටිය, එක එක වයසේ, අපෙන් අහනව ආවෙ කොහෙන්දැ , අපි කිව්ව කොළඹින්, හා අපිත් ගිහිං තියෙනව කොළඹ , එක නමක් පැන්න රැල්ලට එකපාට්ට, අපි නෑ උනා , එහෙමයි අපිට කියල හයියෙන් හිනා උනා කට්ටියම,  තව පොඩි නමක්: හොරෙන් ප්ලේන් එකක් අරං ගහක් යටට ගිහින් ඒක යවනව, චිකන් කෑල්ලක් ඉල්ලන්න බැරිව සමහරු ළතවෙනව මම දැක්ක, උංව දැක්කම ලෝබයි විදුර, එකෙක් උස්සන් එන්නම හිතුනා, සමහර අම්මලත් මම එක්කත් කථා කළා, එක්කො අම්මල තාත්තල නැහැ, යුද්දෙන් මැරිලා, දාල ගිහිං, කන්න දෙන්න විදියක් නැහැ, ලොකු හාමුදුරුවො තමයි මෙයාලව මහණ කරගෙන බලාගන්නෙ, ටිකක් ලොකු උනාම සිවුරු හරියි සමහරු , ඒත් උන් කුඩුකාරයො මිනීමරුව‍ො හොරු වෙන්නෑ සහතිකෙන්ම, ඒක කොච්ර වටිනවද විදුර?'
(යතුරු පැදි යකඩ මජං එක්ක ඔට්ටුවෙන නිමල් දාර්ශනිකයෙක් කියලා මං මෙතෙක් දැනං හිටියෙ නැහැ. - සිවුරු හළ විනීත ගති පැවැත්මෙන් දිවිගෙවන මිනිසුන්ට  'හීරළුවා'යි නිග්‍රහ කරනවුන් මෙනයින් දාර්ශනිකයෝ නොවෙති)

නිදි පුතු දෙස මම බලමි,
මට කහ සිවරු ලූ රූ මැවේ,
කෑරගල වන් පිරිවෙණකි මේ,

තුරුයටින් පැන මලගෙටියෙන් පැටි ලෙහෙණුන්ට පැන් පොවන සාමණේරයන් වහන්සේලා අතර පුතුණුවෝ ද සිටිති:

එඩ්වඩ් ජයකොඩි ගයන , ආනන්ද හේවා රංහිඳගේ මැණික් එබ්බ වූ ගීය මඳක් අහන්නැයි හිත කියයි;

"බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා"

මටයි මගෙ බිරින්දෑටයි දිනෙක එවන් දෙබසකට මුල පුරන්නවේදැයි නොදනිමු,

කෙසේවෙතත් පුතුට තුන්මසක් ගෙවෙත්දී දළදා හිමි වන්දවන්ට ගෙනැ ගියදා අපි පිත්තලමුවා කුඩා මුදුවක්වන් පියනක් සහිත මංජුසාවක් ඒ පරිශ්‍රයේ අලෙවි සලකින් මිල දී ගතිමු,

"ඒ , එක්කෝ පුතු විවාපත්වන දා ලේලියගේ මුදුව බහා තිලිණ කරනු පිණිසය, නැත්නම් මහණදම් පුරන්නට එළැඹෙන දා පුතු හිසින් ගත් අඟුලක් තරම් කෙස්මිටක් එහි බහා ධාතු මනසිකාර භාවනාව වඩනුව පුතුටම පූජා කරනු පිණිසය!"

- විදුර ඩයස් අභයගුණවර්ධන -